උදේ වැඩට ආපු මිනිස්සු ඔෆිස් එක ගාවට ඇවිත් අපේ අකව්න්ටනුයි මහත්තයයි PM මහත්තයයි ඔෆිස් එකේ නිවාස අඩස්සියේ තියාගත්තා පඩි දෙනකම්.
මිනිස්සුන්ට අපිත් එක්ක ප්‍රශ්නයක් තිබුණේ නැහැ.
ඇත්ටම මටත් දූකයි වැඩේට. අපිනේ මිනිස්සුන් ගෙන් වැඩ ගත්තේ. අනිත් එක මං දැකපු සුන්දරම මිනිස්සු හිටපු පළාතක්.
අන්තිමට හෙඩ් ඔෆිස් එකෙන් පොරොන්දු වුණා හවස් වෙන්න කලින් එදා වෙනකම් පඩි බේරන්න මිනිස්සුන්ට.
උදේ ඉඳන් වතුරත් නැතුව ඔෆිස් එකට වෙලා හිටපු මේ මිනිස්සු ගැන මට දුක හිතුනා. මං ගාව තිබුණු රු 300න් මං මනුස්සයෙක්ට කියලා පාන් ගෙන්න ගත්තා. මොනවා හරි කන්න දෙන්න හිතාගන.
අපේ චමරියත් තිබුනේ ඔෆිස්ම වූනාට එකේ හොද්දක් හදන්න දෙයක් තිබුණේ නෑ ඒ වෙලාවේ.
ඉතින් කට්ටිය කිව්ව ලඟ තිබුණ වැවට ගියානම් පැයෙන් මාලු ටිකක් අල්ල ගන්න පුළුවන් කියලා. ඒකාලේ ජොලියටත් එක්ක මමත් ගියා. එක්කෙනෙක් ගෙහුං බිලී පිති ටිකකුත් හොයා ගෙන ආවා තකහනියක් . සමහරු නම් පිත්ත වතුරට දානවා ගන්නවා මාලුවෙක් ඉන්නවා එල්ලිලා . මං පිත්ත දාගන හිටියාට මොකෙක් වත් කන්නේ නෑ මගේ ඇම. යන්තම් කරුමෙට දෙකේ කාසියක් විතර එකෙක් අහුවුනා අනිත් කට්ටිය වැඩේ ඉවර කරන්න කලින්.කොහොම හරි අල්ල ගත්ත මාළු ටික චමරියේ තියාගන හදලා කට්ටිය තිබුණ පාන් ටික බෙදා හදාගන කෑවා.
මේ මාළු අල්ලනකොට බිලි පිත්ත තියනවා තංගුස් නුල තියනවා, උඩ පාවෙන ඉපිල්ලක් තියනවා ,බිලී කොක්ක තියනවා, ඒක අල්ලගන ඉන්න මනුස්සයෙක් ඉන්නවා. හැබැයි කිසිම මාලුවෙක් ඔය ටික තිබුනට අල්ල ගන්න බැහැ , මොකද මාළුවා දන්නවා මේ එකතුව තමන්ට ගේන්නේ මරණය බව , ඒක නිසා ඔය ටිකට අමතරව තව පොඩි දෙයක් අවශ්‍යය කරනවා මාලුවෙක් අල්ලගන්න, ඒක තමයි ඇම, ඇමෙන් කරන්නේ මාලුවාව වසඟයට පත් කරන එක ,අර තියුණු බිලී කටුව වහනවා මාළුවාට ප්‍රණීත ආහාරයකින් , ප්‍රිය දෙයක රස බලන්න ඇම ගිලින මාළුවාට සිද්ද වෙන්නේ ඇමෙන් වහලා තිබුන බිලි කටුව උගුරේ හිරකරගන්න . හිර වෙච්ච බිලිකටුව තංගුස් නුලෙන් සම්බන්ධ වෙලා තියන නිසා එකෙන් ගැලවෙන්න පස්සට අදින්න අදින්න තවත් කටුව උගුරේ හිර වෙනවා. ඊළඟට පිත්ත අතේ තියන කෙනා අදින්නේ කොහෙටද ඒ පැත්තට යන්න සිද්ධ වෙනවා . මාලුවාව වතුරෙන් උඩට ගත්තම මරණයට පත් වෙන්න සිද්ධ වෙනවා,
ඇත්තටම මාළුවාට මරණය උදාකරේ තියුණු බිලි කොක්කද නැත්තම් ප්‍රණීත ඇමද , ඇම නැතුව මාළුවා නිකම් බිලි කොක්ක ගිලින්නේ නැහැනේ. මරණය හෝ ඊට සමාන දුකකට පත්වෙන දේ පුංචි ප්‍රිය මධුර දෙයකින් වහලා දුන්නම මාළුවා එකේ ගොදුරක් බවට පත් වුණා.ඒ වගේ ලෝකය කියන්නේ දුක් ගොඩකින් වැසුණු දෙයක් ඒ වුනාට ඒ දුක් ස්වභාවය මධුර බවකින් වැහිලා තියෙන්නේ. තව කතාවක් කියන්නම් මේක තව තේරුම් ගන්න .
අපේ ගම්වල තියනවා ගම්දෙල් , අහලත් ඇති සමහරවිට, ගම්දෙල් ගෙඩිය හරියට ලා පොලොස් ගැටයක් වගේ පුංචි පුංචි මදුළු තියෙන්නේ , හැබැයි හරිම හරිම රස ව්‍යංජනයක් හදා ගත්තොත්, ගම්දෙල් ගෙඩි අමු ඒවා ගහෙන් කඩාගන්න ඕන උයන්න නම් ඉදිලා වැටෙන ඒවා උයන්න බැහැ , ගම්දෙල් ගහ මහා රූස්ස ගහක් නගින්න පුළුවන් එකකුත් නෙවෙයි ලේසියෙන්, කලාතුරකින් තමයි පහත් වුනු අත්තක් තිබිලා අමු ගෙඩි ටිකක් කඩාගන්න පුළුවන්, එක ගෙඩියක මදුළු තියෙන්නේ කීපයක් විතරයි, ව්‍යංජනයකට අඩුම ගානේ ගෙඩි 15ක් 20ක්වත් ඕන, පොලොස් ගැටයක් වගේ හයිය නිසා මදුළු වෙන්කරගන්න එකත් ලේසි නැහැ. පොලොස් වගේ මුළු ගෙඩියම උයන්නත් බැහැ. ගම්දෙල් ඇටයත් කඩල ඇටයක් තරම් උනාට කොස් ඇටයක් වගේ පොත්තක් තියනවා ව්‍යංජනයට එකත් සුද්ධ කරගන්න ඕන.
ඔබ හිතන්න මෙහෙම හදාගත්ත ව්‍යංජනය රස විඳින්න කලින් තව කෙන් හම්බු උනොත් කොහොමද කියන්නේ කියල, දන්නවද මං අද හැදුවා ගම්දෙල් ව්‍යංජනයක් එනවද කාල බලන්න කියල කියාවි හරිම ආඩම්බරෙන්. දැන් ඔබ ටික වෙලාවක පස්සේ කුස්සියට ගිහින් බලන කොට පුසෙක් පැනල අර ව්‍යංජන හට්ටියම බිමට පෙරලිලා නම් දැන් කොහොමද ඔබට දැනෙන්නේ. දැන් කියන්නේ මොනවද, බලන්න අයියෝ මං උදේ ඉඳන් මහන්සි වෙලා හදා ගත්ත ව්‍යංජනය මගේ අතත් කැපුන සුද්ද කරන්නන ගිහින්, නියපොතු ටික ඉවරයි කහට ගැවීලා ,ඔයවගේ අදෝනාවක් තමයි අහන්න වෙන්නේ.
ඇයි එහෙම වුණේ ? මුලින් මේක රසවිඳින්න තිබුණ බලාපොරොත්තුව නිසා අර විඳපු දුක් ටික අමතක වෙලා තිබුනේ ව්‍යංජනය සකස් කරගන්න. හැබැයි ඒ බලාපොරොත්තුව බිඳ වැටුනා විතරයි අර විඳපු දුක් සියල්ල මතක් වෙනවා.
එතකොට මේ රස විඳීමේ අපිට දැනෙන්නේ කොච්චර සුළු වේලාවකද ව්‍යංජනය රස වින්ද කියල හිතමු , පින්ගානට බෙදා ගන්න කොට රස දැනුනද ,නැහැ බත් එක්ක අනාගන්න කොට ඇඟිලි වලට රස දැනුනද, නැහැ, කටට ලං කරනකොට තොලේ ස්පර්ශ වෙනකොට රස දැනුනද ,නැහැ, කටේ තියන අඟල් 2ක් 3ක් විතර ඇති දිවේ ස්පර්ශ වෙනකොට විතරයි රස දැනුනේ, තත්පර කීයක්ද දිවේ තියෙන්නේ ,අපි ගිලිනවා ඊළඟට , උගුරට රස දැනෙනවද ,අමාශයේ පැය ගානක් තියනවා රස දැනෙනවද නැහැ.
මොහොතක රස තෘෂ්ණාව නිසා අපි පෙලීම් ගොඩක් ඉවසන්න පුරුදුවෙලා අපි සැපක් විදියට විඳින්නේ පෙලීමක් සමනය කිරීමක් විතරයි , වැඩිපුර සැපක් විඳින්න නම් වැඩිපුර පෙලීමක් විඳින්න වෙනවා,
සීතල වතුර වීදුරුවක් සැපක් වෙන්නේ අපි අව්වේ පැය ගානක් ඉඳලා දිව ගිලෙන්න තරමට තිබහ වෙලාවක, සීතල රෑක නුවර එළියේදී ඒක අපිට තවත් පෙලීමක් විතරයි. එක නිසා සැප තිබුනේ වතුර වීදුරුවේ නෙවෙයි අපේ ස්වභාවයේ,
එතකොට මේ සැප මාත්‍රය තමයි ලෝක සත්වයාව මහා දුක් ගොඩකට ඇදල දානේ හරියට බිලී කොක්කේ එල්ලපු ඇම වගේ.
කව්ද මේ බිලී පිත්ත අල්ලගන ඉන්නේ ,මාරයා . සැප මාත්‍රය උගුරේ හිරවුනාට පස්සේ එයා අදින අදින පැත්තට සසරේ ගමන් කරනවා, එහෙට අදිනකොට මනුස්සයෙක් වෙනවා මෙහෙට අදිනකොට තිරිසනෙක් වෙනවා අයෙත් දෙවියෙක් වෙනවා , අපාගත වෙනවා ඔයවගේ අනන්ත කාලයක්.
ලෝකේ මතු පිටින් තියන දුක් තමයි ,ප්‍රියයන්ගෙන් වෙන්වීම , අප්‍රියයන් හා එක්විම , කැමැත්ත ඉටු නොවීම, ඉපදීම , ජරාවට පත්වීම , මරණයට පත් වීම. මේ දුක් ස්වභාවය ඕනෑම සත්වයෙක් දන්නවා, බැල්ලියෙක්ගෙන් පැටියෙක් අරගන යනකොට උටත් දුක දැනෙනවා , පුසෙක් කැමති නෑ ගෙදරට බල්ලෙක් අරන් එනවට උ නොකා නොබී ඉන්නවා ටිකදවසක් , මරන්න අරගන යන හරකෙක් දන්නවා තමන් මරන්න අරන්යන බව උගේ ඇස දෙකේ කඳුළු වැක්කෙරෙනවා අපිට පේනවා.
බුදු කෙනෙක් ලෝකෙට පහල වෙන්නේ මේ මතු පිටින් පේන දුක විග්‍රහ කරන්න නෙවෙයි , ලෝක සත්වයා නොදකින් සැප තුල හැංගුන දුක විග්‍රහ කරන්නයි උන්වහන්සේ පහලවුණේ .
බුදු රජාණන් වහන්සේගේ කාලේදී විශාකා සිටු දුව ආවා එක සැරයක් බුදු පියාණන් හමුවට තෙත ඇදුම් පිටින් . උන් වහන්සේ ඇහුවා අයි මේ කවදාවත් නැතුව තෙත ඇඳුම් ඇඳගන කියලා. එතකොට විශාකාව කියනවා ස්වාමිනි මගේ මිනිපිරියක් මරණයට පත් උනා . මේක අපේ චාරිත්‍රයක් කියලා. ඉතින් මෙහි ආවේ මොකද කියලා බුදු පියාණන් වහන්සේ ඇහුවා විශාකාවගෙන්. ස්වාමිනි මට දුකයි ඒක සමනය කරගන්නයි ආවේ , එතකොට විශාකාව ඔබ මේ මියගිය මිනිපිරියට ආදරෙයිද , ඔව් ස්වාමිනි මම මහත්සේ ඇයට සෙනෙහසයි ,ඇය වැනි තවත් මිනිපිරියන් ඔබට ලැබුනොත් කොහොමද , ස්වාමිනි මම තවත් සතුටුයි . එතකොට විශාකාව ඔවුන් සියලු දෙනාත් මරණයට පත් වුනොත් තියන දුකද ඔබට දැන් තියන දුක වැඩි ? ස්වාමිනි අර සියලු දෙනා මියගිය විට දුකද වැඩියි. එහෙනම් ඔබ නොදන්නා පවුලක මෙවැනි දරුවෙක් මිය යනවා ඔබට මෙවැනි දුකක් දැනෙනවද විශාකාවනි? නැහැ ස්වාමිනි, එහෙනම් ඔබට වැටහෙනවද ඔබට වඩාත් දුක ගෙන දීල තියෙන්නේ ඔබේ ප්‍රියයන් බව.
මේ වගේ ලෝක සත්වයා සසර ගමනට ඇද බැඳ තබා ගන්නේ මෙහි ඇති ප්‍රිය මධුර ස්වභාවය කියලා දකින පුද්ගලයා . ලෝකයේ යථා ස්වරුපය දකිනවා . මේ දුකට හේතුව ප්‍රිය භාවය කියලා දකිනවා. දුක උදාවීම නතර කලයුතුයි කියලා දකිනවා . දුක උදාවීම නතරකිරීමට අනුගමනය කලයුතු මාර්ගය මේ යැයි දකිනවා.

No comments:
Post a Comment